sinhala

Udawalawe Wild Park 2

Posted at September 23, 2011 | By : | Categories : sinhala | 0 Comment

උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය  ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි.

උඩවලව වැවෙහි වැව් පිටියෙන් ඔබ්බට තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසර පද්ධතියක් දැකගත හැකිය. තැනිතලා තණ බිමෙහි ඉතා ඈතින් තනිව පිහිටා ඇති ගසක් දෙකක් හැරුණු කොට වෙනත් උස් ස්ථාන කිසිවක් දැක ගැනීමට නොමැත.

තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසර පද්ධතියක් …

උඩවලව වැව් පිටියෙන් ඔබ්බට ගමන් කල පසු අපට රථයෙන් බිමට බැස අවට නැරඹිය හැකි ස්ථානයක් වන්නේ ගෝනවිද්දගල සංචාරක බංගලාවට ආසන්නයේ පිහිටි ගල් තලාවයි. ඔබට මෙම ස්ථානයේ වාහනයෙන් බැස අවට නැරඹිය හැකිය. මෙම ස්ථානයට උඩවලව ජලාශයේම ඉහල කොටසක් හොදින් දර්ශනය වේ.

ගෝනවිද්දගල සංචාරක බංගලාවට ආසන්නයේ පිහිටි ගල් තලාව

වනෝද්‍යානය ඇරඹීමට පෙර මෙහි පැවති පැරණි ගම්මාන වල සීනුග්ගල, මුවන්පැලැස්ස වැනි ගම්මාන දැන් වනෝද්‍යානයට අයත් වන අතර, එම ගම්මානයන්හි ශේෂ අදද දක්නට ලැබේ. වනෝද්‍යානය තුල පිහිටි වෙහෙර මංකඩ හා වෙහෙර ගොල්ල යන ස්ථානයන්හි නටඹුන් ගොඩනැගිලි හා ගල් කණු කොටස් හමු වී ඇත. වනෝද්‍යාන මායිමේ පිහිටි කල්තොට හා සදගිරිය යන ප්‍රදේශ අතීතයේ රාජධානි වශයෙන් පැවතී ඇති බවට සාධක හමු වන අතර, සදගිරියේ දළදා මාලිගාවක්ද පැවති බව පුරාවිද්‍යා නිදර්ශක අනූව පෙනි යයි.  එවකට ගොවිතැනට භාවිතා කල සීනුග්ගල වැව, මුවන් පැලැස්ස වැව, දන්ගහ වැව, කුඩා වැව, බුරුතගොල්ල වැව, තේක්ක වැව ආදී වැව් අද වන විට සතුන්ගේ පරිහරණය සදහා යොදා ගනී.

මෙම වැව් බොහොමයක් නියං කාලයේදී සිදී යන අතර …

මෙම වැව් බොහොමයක් නියං කාලයේදී සිදී යන අතර, වැව් කිහිපයක පමණක් ජලය රදා පවතී. මෙම ජලය රදා පවතින වැව් වෙත ජලය බීම සදහා පැමිණෙන අලි ඇතුන් නිතර දැකගත හැකි වේ. රංචු වශයෙන් මෙසේ වැව් වෙත ඇදී එන අලි ඇතුන් කැලයට යාමට පෙර ජලයට අමතරව දූවිලි වලින්ද තම ශරීරය සරසා ගනු අපට දක්නට ලැබුනි. උද්‍යානය තුළට ගමන් කිරීමේදී රංචු වශයෙන් මෙන්ම තනි තනිව වාසය කරනා අලි ඇතුන්ද තැනින් තැන දැක ගැනීමට හැකි වේ.

රංචු වශයෙන් මෙසේ වැව් වෙත ඇදී එන අලි ඇතුන් …

තනි තනිව වාසය කරනා අලි ඇතුන්ද දැක ගැනීමට හැකි වේ.

මව්ආර ආශ්‍රිතව පවතින ගල් අමුණ ජලාශයද බොහෝ දුරට ජලය සිදී දිය පහර පමණක් වන තරමට සිදී ගොස් ඇති ආකාරය නියං සමයේදී දැකගත හැකිය.  අභ්‍යන්තර කුඩා වැව් ආශ්‍රිතව රැදී ඇති ජලය සමග කුළු හරක් රංචු වශයෙන් සිටිනු දක්නට ලැබේ.

ගල් අමුණ ජලාශයද බොහෝ දුරට ජලය සිදී …

කුළු හරක් රංචු වශයෙන් සිටිනු දක්නට ලැබේ.

මෙම වනෝද්‍යානය ආශ්‍රිතව ශාක විශේෂ 94 ක්, මත්ස්‍ය විශේෂ 21 ක්, උභය ජීවීන් විශේෂ 12 ක්, උරග විශේෂ 33 ක්, පක්ෂි විශේෂ 184 ක් (සංක්‍රමණික පක්ෂීන් විශේෂ 33 ක්) සහ ක්ෂීරපායි සත්ව විශේෂ 43 ක් වාර්තා වී ඇති බව සටහන් වේ. මීට අමතරව සමනලුන් විශේෂ 135 ක් පමණ හමුවී ඇත. මේ අනුව පෙනී යන්නේ මෙම වනෝද්‍යානය සත්ව සම්පත අතින් ඉතා පොහොසත් වනොද්‍යානයක් බවයි.

සත්ව සම්පත අතින් ඉතා පොහොසත් වනොද්‍යානයක් බව …

මෙම සත්වයින් අතරින් අලියා සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. අලි ඇතුන් 800 කට අධික ප්‍රමාණයක් මෙහි වාසය කරන බව සදහන් වේ. ඒ අතුරින් දළ ඇතුන් 8 ක් පමණ වන බව සදහන්ය.

අලි ඇතුන් 800 කට අධික ප්‍රමාණයක් මෙහි වාසය කරන බව …

මීට අමතරව හමුවන සතුන් අතුරින් ගෝනා, තිත්මුවා, වැලිමුවා, මීමින්නා, වල් ඌරා, කුළු හරකා වැනි සතුන් ප්‍රධාන තැනක් ගනී. රිලවා, වදුරා, හාවා වැනි සතුන්ද උද්‍යානය තුළ දැක ගැනීමට හැකි සතුන් අතර වේ. දිවිහා හා වලහාද මෙහි වසන නමුත් දැක ගැනීමේ අවස්ථා දුර්ලභ බව පැවසේ. වලි කුකුලා, මොණරා, උකුස්සන්, රාජාලියන් මෙන්ම කොකුන් වර්ග ගනනාවක්ද මෙහි දැක ගැනීමට හැකි වේ. පක්ෂි වර්ග ගනනාවක්ම උද්‍යානය තුළදී දැකගත හැකි වන අතර, මොණරුන්ගේ රංගනයන් අපට ඉතා අලංකාර දර්ශනයක් ගෙන දේ.

පක්ෂි වර්ග ගනනාවක්ම උද්‍යානය තුළදී දැකගත හැකි වන අතර …

මොණරුන්ගේ රංගනයන් ඉතා අලංකාර දර්ශනයක් ගෙන දේ.

මෙසේ උද්‍යානය අභ්‍යන්තරයේ සුන්දරත්වය නිසි ලෙස දැක ගැනීමට නම් ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ අභ්‍යන්තරය වෙත ගමන් කල යුතු වේ. උද්‍යානයේ අභ්‍යන්තර ප්‍රධාන මාර්ග පද්ධතිය බොහෝ දුරට ප්‍රතිසංස්කරණය කර ඇති අතර, අතුරු මාර්ග ඔස්සේ අභ්‍යන්තරයට ගමන් කිරීමට නම් රළු භාවිතයට ඔරොත්තු දෙන වාහනයක ගමන් කිරීම වඩාත් යෝග්‍ය බව පැවසිය යුතුමය.

ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ අභ්‍යන්තරය වෙත ගමන් කල යුතු වේ.

පෙර සදහන් කල පරිදි මෙම වැව් සිදී ගිය පසු එම වැව් පිටියෙහි ගමන් කිරීමේදී අපට ඉතා අලංකාර පරිසර දර්ශනයක් දැකගත හැකි වේ. වැව් පිටිය ඉතා අලංකාර වන අතර, වැවට මැදි වූ පැරණි ගස් අතරින් ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසරයක් දැකගත හැකි වේ.

වැවට මැදි වූ පැරණි ගස් අතරින් ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසරයක් …

එසේම මෙසේ සිටිනා අලි පරපුර ඇතුළු සතුන් ස්වාභාවික ලෙස මිය ගිය පසු එම ශරීරය ස්වාභාවික ලෙසම පරිසරයට එක්වීමට ඉඩ සැලසීම පරිසර පද්ධතිය තුළිත වීම සදහා හේතු වන්නකි. ස්ථාන කිහිපයකම එවැනි දර්ශනයන්ද දැක ගැනීමට අපට හැකි විය.

මිය ගිය පසු එම ශරීරය ස්වාභාවික ලෙසම පරිසරයට එක්වීමට ඉඩ සැලසීම

සවස් කාලය වන විට බොහෝ සතුන් දිය සොයා වැව් පිටිය වෙත පැමිණීම සුලභ දසුනකි. මෙසේ දිය සොයා පැමිණෙන අලි ඇතුන් අතර සිටිනා කුඩා අලි පැටවුන්ගේ දගකාර ක්‍රීඩාවන් අප සිත්හි සුන්දර දසුන් ඇති කරයි.

කුඩා අලි පැටවුන්ගේ දගකාර ක්‍රීඩාවන් …

මෙම පරිසර පද්ධතිය හෙට පරපුරටද උරුම කර දීම සදහා වන ජීවී මාර්ගෝපදේශක රුවන් මහතාගේ ටී ෂර්ටයෙහි තිබූ වැකියක් මෙහි සදහන් කිරීම වඩාත් උචිත යැයි සිතමි. “ඡායාරූපයක් හැර කිසිවක් රැගෙන නොයන්න. පා සටහනක් හැර කිසිවක් තබා නොයන්න”.

"ඡායාරූපයක් හැර කිසිවක් රැගෙන නොයන්න. පා සටහනක් හැර කිසිවක් තබා නොයන්න"

වනගත සංචාරයන්හි අක්දැකීම් ඇළුම් කරන ඔබට උපකාරී වන මෙම උද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා සහ කදවුරු බිම් පිළිබදව වෙනම ලිපියක් මගින් තොරතුරු ගොණු කිරීමට අපේක්ෂා කරමි.

About rajeen

Comments are closed.